Monday, July 23, 2012

නිවට චර්යාවෙන් මිදී සත්‍යය දකින්න.(මහාචර්ය අසංග තිලකරත්න මහතාට පිලිතුරු ලිපිය.)

වර්තමාන බුදු සසුනට එල්ල වී ඇති අභියෝග සහ තර්ජන හමුවේ නිර්මල බුදු සසුන ආරක්ෂා කර ගැනීමේ අදහසින් කොළඹ විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන අංශයේ මහාචාර්යවරයකු වන අසංග තිලකරත්න මහතා විසින් පසු ගිය ඉරිදා දිවයින පුවත්පතට යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් යම් අදහසක් එකතු කිරීමට කැමැත්තෙමි. පසු ගිය සතියේ පල කර තිබු ‘සිරිවර්ධනලා සිරිධම්මලා සහ බුදු සසුනේ ආරක්ෂාව’ යන ලිපිය මම ඉමහත් උනන්දුවෙන් හා ඕනෑකමින් යුතුව කියවීමි.මෙවැනි කාලින ගැටළුවක් සම්බන්ධව ඉතා හරවත් දාර්ශනික මෙන්ම ශාස්ත්‍රීය විග්‍රහයක් මම එතුමන්ගෙන් බලාපොරොත්තු වූ නමුදු මා හට කියවීමට ලැබුනේ පහත් ලෙස භාෂා ව්‍යවහාරයෙන් යුතුව ද්වේශ සහගතව ලියන ලද ලිපියකි.විශ්ව විද්‍යාලයක මහාචාර්ය වරයෙකුට සුදුසුදැයි ප්‍රශ්න කිරීමට තරම් පහත් ගණයේ ලිපියකි.එය බෞද්ධ මහාචාර්ය වරයෙකුට නම් කිසි සේත්ම සුදුසු නොවන බව අවධාරණය කරනු කැමැත්තෙමි.එතුමා බෞද්ධ ධර්මය පිලිබඳ මහාචාර්ය කෙනෙකුන් යයි කියා ගන්නවා වුවද ධර්මය හෙවත් සිත පුරුදු කිරීමක් එතුමන් තුල කිසි සේත්ම පිළිබිඹු වන්නේ නැත.එතුමන් දැනුම අතින් පමණක්ම බෞද්ධ මහාචාර්යවරයෙකු බව මනාවට පැහැදිලි වේ.( උගතා සහා ප්‍රඥාවන්තයා යනු දෙදෙනෙකු බව මා හට තවත් මැනවින් ප්‍රත්‍යක්ෂ විය.) මෙහිදී මා සිහියට නැගෙනුයේ ධම්ම පද පාලියේ යමක වග්ගයට අයත් 19,20 ගාථාවන් ය. එහි දැක්වෙන පරිදි යමෙක් හෙතෙම තුන් පිටකය ඉගෙන බොහොම බණ කියතත් තමා එය නොපිලිපදී නම්, නොසලකයි නම්, ඔහු අනුන්ගේ හරකුන් රකිනා ගොපල්ලා මෙන්, මහණ දමේ පලයට හිමි කාරයෙක් නොවේ. එතුමන් බෞද්ධ දර්ශනය පිලිබඳ අචාර්ය මහාචාර්ය පදවි දැරුවද සැබෑම බුද්ධ ශ්‍රාවකයෙකු විසින් ලැබිය යුතු මහණ කමේ ඵලයට හිමි කාරයෙක් නොවන්නේ නොවේද? එසේ හෙයින් එතුමන් තවමත් අනුන්ගේ හරක් බල ගන්නා ගොපල්ලකු බව සිහියේ තබා ගත යුතුය. එසේ බලන කල මා හට මහචර්ය පදවි නොතිබුනද ත්‍රිපිටක ගිරවෙකු නොවුනද සිත පුරුදු කරන්නෙකු බැවින් මහණ කමේ ඵලය ලැබීමට තරුණ වයසේදීම මූලික සුදුසු කම් සපුරා තිබීම ගැන මම සතුටු වෙමි.
 උගතකුට වුවත් නොගැලපෙන අන්දමේ භාෂා හැසිරවීමක් එතුමන් තුලින් ප්‍රකට වීම තුල මම ඉමහත් කනගාටුවටත් විමතියටත් පත් වූයෙමි.මන්ද විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස මා හඳුනන මා දැක ඇති මහාචාර්ය වරුන් නම් දැනුමෙන් පරතෙරට ගිය සියුම් තාර්කික බුද්ධියකින් හා විශ්ලේශන ඥානයකින් හෙබි දාර්ශනික අයුරින් ගැටළු දෙස නෙත් යොමන තම විෂය පරාසයේ පතාක යෝධයන්ය.යම් විෂයානුබද්ධ ගැටළුවක් පැන නඟින විට එතුමන්ලා විසදුම් ඉදිරිපත් කරනුයේ විද්‍යාත්මකව හා තාර්කික ඥානයෙන් යුතුව දාර්ශනික පසුබිමක් තුල සිටය.පිළිගත් මුලාශ්‍ර ගෙන හැර දක්වමින් නිදර්ශනද සහිතව කරුණු ගෙන හැර පාන එම විග්‍රහයන් දුටු කල අසංග තිලකරත්න මහතා විසින් සම්පාදනය කරන ලද ලිපිය මඩ පුවත්පතක ඇති ලිපියකට එහා නොගිය බව කා හට වුවත් වැටෙහෙන දෙයකි.
 එතුමා විසින් ලියන ලද එම ලිපිය ගැන සලකන විට සමාජය අපේක්ෂා කරන අන්දමේ දාර්ශනික පදනමක් නොමැති හුදෙක් ද්වේශය මත සිටම ලියන ලද්දක බව පෙනී යයි.මෙය ඉතා කනගාටුදායක තත්වයකි.මතු අනාගත පරපුරට ආදර්ශ සම්පන්න විය යුතු පුද්ගලයන් මෙවැනි අයුරින් පෙනී සිටිද්දී සාසනයද රටද තව තවත් අගාධයට යාම වැළක්විය නොහැක.අවම වශයෙන් ගුරු භුමිකාවේ ගරුත්වය වෙනුවෙන් වත් නිවැරදිව තම වාග් ව්‍යවහාරය ඉදිරිපත් කලේ නම් මැනවි.එබැවින් මම එතුමන්ව අසංග මහතා ලෙස දක්වමින් කරුණු ඉදිරිපත් කරමි. සිරිවර්ධන මහතා ගිහියෙක් වන අතර එතුමා විසින් සිදු කරනවා යයි පවසන ප්‍රකාශ මම අසා නොමැති බැවින් ඒ පිලිබඳ අදහස් දැක්වීමට කැමැත්තක් නැති බව දන්වමි.පිටිදුවේ සිරිධම්ම හිමියන් යනු වසර 12 ක් මහණ දම් පුරා මහණ කමේ සැබෑම ඵල නෙලාගත් උප සපන් භික්ෂුන් වහන්සේ නමකි.ගිහියන් විසින් පැවිදි නාමය පමණක් යොදා භික්ෂුන් වහන්සේලාව ආමන්ත්‍රණය කරනු මා දැක තිබීන්නේ තෙවැනි පන්තියේ මිනිසුන්ගේ කෝලාහලය න් හිදී පමණි.එම ක්‍රියාව එතුමා වැනි උගතෙකු විසින් සිදු කිරීම බරපතල දෙයකි,සමාජයට මහත් වූ වැරදි ආදර්ශයකි.එම ලිපිය පුරාම එතුමා පිටිදුවේ සිරිධම්ම හිමියන්ව සඳහන් කරන්නේ ‘පිටිදුවේ’ නැතහොත් ‘සිරිධම්ම’ ලෙසය. මෙය එතුමන්ගේ හදවත තුල බුර බුරා නැගෙන ක්‍රෝධයේ ගිනි දළු පිලිබඳ වූ අගනා සංකේතයක් බව මනාව පැහැදිලි වේ.
 අසංග මහතා පවසන පරිදි පිටිදුවේ සිරිධම්ම හිමියන් ධර්මය විකෘති කරයි.නමුත් එතුමා,සිරිධම්ම හිමි විසින් ධර්මය විකෘති කලේ කොතනද කුමක්ද යන්න ත්‍රිපිටක මුලාශ්‍ර ඇසුරින් හෝ පෙන්වා දිය යුතුය.නමුත් එම ලිපියේ කිසිදු තැනක එසේ සඳහන් වූ තැනක් නැත.එමඟින් පෙනී යන්නේ ඉතා අසාර්ථක කරුණු විග්‍රහයක එතුමන් නිරත වී ඇති බවයි,හුදෙක් ද්වේශය මුලික කර ගෙන අපහාස කිරීමට පමණක්ම ලියන ලද්දක බව නම් පැහැදිලිය.පිටිදුවේ සිරිධම්ම හිමියන් දේශනා කරන ධර්ම කරුණු නොතේරෙන ඇතැම් නූගත හා ප්‍රඥාවෙන් හීන පුද්ගලයන් විසින් සිරිධම්ම හිමියන් ධර්මය විකෘති කරනවා යයි අලාප ගොතා තිබුනද විකෘති කලේ කුමක්ද ,කොතනද යන්න පෙන්විමට වත් සිරිධම්ම හිමියන් සමඟ ප්‍රසිද්ධියේ වාචික සංවාදයකට නොපැමිනිමත් සාමාන්‍ය දෙයකි. ප්‍රසිද්ධියේ යනුවෙන් අප මෙහි අදහස් කලේ විද්‍යුත් මාධ්‍යක හෝ ප්‍රසිද්ධ සභාවක් ඉදිරියේ ය. එහෙත් අසංග තිලකරත්න මහතා වැනි ධර්මය දන්නවා යයි කියන අයවලුන්ද කරනුයේ එලෙසින්ම බාහිරින් පමණක් ද්වේශ සහගතව කරනා ලිඛිත විවේචනයක් නම් එය හාස්‍යයට කරුණකි.එම ලිඛිත විවේචනය තුලද කිසිදු දාර්ශනික පදනමක් නැත.
පිටිදුවේ සිරිධම්ම හිමියන් ධර්මය විකෘති කරනවා නම් කල යුත්තේ සියල්ලන්ටම පෙනෙන පරිදි ප්‍රසිද්ධියේ දාර්ශනිකව එම විකෘති කරන ස්ථාන පෙන්වා දීම නොවේද? ඒ සඳහා සිරිධම්ම හිමියන් සමඟ සංවාදයකට එතුමන් හට ශක්තිය ඇතැයි මම සිතමි. එසේ නොවන්නේ නම් ඔබ තුමන් ගේ ඇති මහාචාර්ය පදවි සියල්ල අවබෝධය සඳහා කිසි සේත් වැදගත් නොවන හිස් දැනුමක් පමණි. අසංග තිලකරත්න මහතාට අනුව පිටිදුවේ සිරිධම්ම හිමියන් සිදු කරනුයේ පර ප්‍රවාදයන්ය.එසේ නම් එතුමන් වැනි උගතුන්ගෙන් සමාජය බලාපොරොත්තු වන්නේ සිංහයකු මෙන් ඉදිරියට පැමිණ සිංහ නාද කොට එම ප්‍රවාද සුන් කොට දැමීමය.එසේ නොමැතිව නිවටුන් මෙන් තිරය පිටුපසට වී හූමිටි තැබීම සමාජය අපේක්ෂා නොකරයි. අසංග තිලකරත්න මහතා පවසන පරිදි පිටිදුවේ සිරිධම්ම හිමියන් ගිහි ඇඳුම් අන්දවා ගෙදර යැවීමට නම් (බුද්ධ නීතියට අනුව පාරාජිකා වුනු හෙවත් භික්ෂුත්වය අහිමි කෙනෙකුට වුවත් සාමනේරයෙකු සේ සිටිය හැක. එතුමන් වැනි ඊනියා ධර්ම ධරයකු මෙය නොදැනීම මහත් හාස්‍යයකි.) ඊට ප්‍රථම උන්වහන්සේ සමඟ ප්‍රසිද්ධ වාචික සංවාදයකින් උන්වහන්සේ ප්‍රකාශ කරන දෑ ත්‍රිපිටක ධර්මයට එක හෙලා විරුද්ධ යයි කරුණු සහිතව පෙන්වා දිය යුතුයි.එවැනි දාර්ශනික සංවාදයකට එතුමන් සුදානම් නම් අපි සිරිධම්ම හිමියන් හමු වී ඒ සඳහා අවස්තාවක් සලසා දීමට මැදිහත් වෙමු.
තවද අසංග මහතාට අනුව ධර්මය දේශනා කිරීමට බෞද්ධ උපාධියක්ද හෝ සහතිකයක් අවශ්‍යය.එසේ නම් සැරියුත් මහරහතන් වහන්සේට තියා තථාගතයන් වහන්සේටවත් එතුමා කියන පරිදි ධර්මය දේශනා කිරීමට අයිතියක් නොමැත.මන්ද ඔය කියන ඊනියා බෞද්ධ උපාධියක් හෝ සහතිකයක් ‌ උන්වහන්සේලාට නොතිබුණු හෙයිනි. මාධ්‍ය තුල පිටිදුවේ සිරිධම්ම හිමියන්ට බුදු දහම විවරණය කරන්නට හැකියාවක් ඇතැයි තීරණය කල අය කවුරුන්දැයි ප්‍රශ්න කරන එතුමාගෙන් අපි එතුමාට මාධ්‍ය තුල බුදු දහමට සම්බන්ධ දේවල් විවරණය කිරීමට හැකියාවක් ඇතැයි තීරණය කල ආයතනය කුමක්දැයි අසමු. තවද ලෝකයේ සුපිරි ගණයේ විද්‍යාඥයෙකු වූ ඇල්බට් අයින්ස්ටයින් හට,විශිෂ්ඨ ගණයෙහි ලා වූ ගණිතමය සිද්ධාන්ත ඉදිරිපත් කිරීමට උපාධි ලබා දී තිබූ ආයතන තිබුනාදැයි මම එතුමන්ගෙන් ප්‍රශ්න කරමි.
 බෞද්ධ ධර්මය පිලිබඳ මහාචාර්ය වරයෙකු වූ එතුමාට තථාගතයන් වහන්සේ වදාළ දේශනාවක් සිහිපත් කිරීමට කැමැත්තෙමි.අංගුත්තර නිකාය චතුක්ක නිපාතයට අයත් ඨාන සුත්‍රය තුලදී තථාගතයන් වහන්සේ දේශනා කර ඇත්තේ මෙසේය.: “මහණෙනි කරුණු හතරක් කරුණු හතරකින් දත යුතුය.කුමක්ද ඒ සතර.
 ඇසුරින් සීලය දත යුතුය.(දිගු කලක් ආශ්‍රය කිරීමෙන් සීලය දත යුතුය.)  සල්ලාපයෙන් පිරිසිදු බව දත යුතුය.
 විපත් වලදී ශක්තිය දත යුතුය.
  සාකච්චාවෙන් ප්‍රඥාව දත යුතුය.

 මේ අනුව පිටිදුවේ හිමියන්ගේ සීලය ,ප්‍රඥාව නිවැරදි හා පැහැදිලි විමසා බැලීමකින් තොරව නිගමනය කිරීම තුල එතුමන් බෞද්ධ වේශයෙන් සිට බුද්ධ වචනයට පයින් ගසන්නෙකු බවට පත්ව තිබීම කණගාටුවට කරුණකි.බුද්ධ වචනය විකෘති කරන්නේ කවුරුන්ද යන්න ජනයාට හොඳින් වැටහෙනු ඇත. අසංග තිලකරත්න මහතා විසින් එතුමාගේ ලිපියේ අවසානයේ දක්වා ඇති ප්‍රශ්න වලට එතුමාටම බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා හමුවී පිළිතුරු ලබා ගත හැක.අවශ්‍ය නම් අප එතුමාට එම කරුණු කාරනා පෙන්වා දීමට බුද්ධ ශාසන අමාත්‍යංශයට රැගෙන යාමට වුව සුදානම්ය.එතුමා පවසන පරිදි පිටිදුවේ සිරිධම්ම හිමි වැඩ වාසය කරන්නේ විහාරස්ථානයක නොව නිවසකය.එතුමාගෙන් විමසීමට ඇත්තේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා වැඩ වසන, මහා සංඝයා වහන්සේ වැඩ වසන, ත්‍රිවිධ චෛත්‍ය වැඩ වසන, ධාතුන් වහන්සේලා වැඩ වසන නිවෙසට කියන නාමය කුමක්ද කියා යි. මා දන්නා තරමින් නම් එවැනි ස්ථානයක් හැඳින්විය යුත්තේ පන්සලක් ලෙසිනි. එහෙත් ඔබ තුමන් තුල වූ ද්වේශ සහගත සිතිවිලි මෙම කරුණ පවා අමතක කරන්නට තරම් ප්‍රබල වීම පිලිබඳ මහත් සේ කනගාටුවට පත් වෙමි.
 පිටිදුවේ සිරිධම්ම හිමියන්ගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ගැන සහ උන්වහන්සේගේ උපසම්පදාව ගැන දැන ගැනීමට අසංග තිලකරත්න මහතාට අපත් සමඟම බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා හමුවීමට යාමට අපි ආරධනා කරමු. එතුමා විසින් නඟන ලද තවත් ප්‍රශ්නයක් නම් දාරක නඩත්තු නඩුවක් පිළිබඳවය.එම නඩුව අවසන් වී අවසන් තීන්දුවද දී හමාරය. මා දන්නා පරිදි 2009 දෙසැම්බර් 8 වන දින මෙහි තීන්දුව ප්‍රකාශයට පත් විය. අවසන් තීන්දුව නම් සිල්වත් උතුමෙකුට අපහාස කිරීමට සංවිධානාත්මක කල්ලියක් විසින් කරන ලද කුමන්ත්‍රණයක් බවය.අවශ්‍ය නම් එතුමාට එම නඩු තීන්දුවද බලා ගැනීමට ද හැකියාව ඇත.කට කතා එකවරම විශ්වාස කිරීම බෞද්ධයෙක්ට තරම් නොවන අතර ඊනියා බෞද්ධ මහාචාර්ය වරයෙකුට නම් කිසි සෙත් නොවටනේය. කාලාම සූත්‍රයේදී බුදුන් වහන්සේ පවසන පරිදි කට කතාවෙන් කිසිවක් පිලි නොගත යුතු බව පැහැදිලිවම දක්වා ඇති නමුත් එතුමා වැනි මහාචාර්ය වරයෙකු ඒ නොදැනීම පිලිබඳව මගේ විමතිය පල කර සිටිමි. එසේම සුත්ත නිපාතයේ සුන්දරීක සූත්‍රයෙහි දැක්වෙන පරිදි, බමුණෙකු පැමිණ තථාගතයන් වහන්සේගෙන් ජාතිය ගැන ප්‍රශ්ණ කරන විට උන් වහන්සේ පවසනුයේ,ජාතිය නොව, මාගේ සීලය හා ප්‍රඥාව පිලිබඳව ප්‍රශ්ණ කරන ලෙසයි. මා වැනි ලා බාලයෙකු පවා දන්නා මෙවැනි වැදගත් දහම් කරුණු පිලිබඳව වත් අවබෝධයක් නොමතිව බුදු සසුන රැක ගනීමට පදනම් විරහිතව කෑ මොර දීම කොතරම් සුදුසුදැයි මට ගටලුවක් ව පවතී.

තවද එතුමන්ම පවසන පරිදි හෝමාගම පැවති දේශනයකදී පිටිදුවේ සිරිධම්ම හිමියන් වැරදි වූ දෙයක් ප්‍රකාශ කළා නම් අසංග මහතා කල යුතුව තිබුනේ එ අවස්ථාවේදීම එ ගැන පෙරලා ප්‍රශ්න කිරීම හෝ එ ගැන විරුද්ධත්වය පලකොට එය නිවැරදි කිරීමය. ‘වජ්ජ’ හෙවත් ‘වැරදි’ යන වචනයෙහි අර්ථය නම් ‘පෙන්වා දිය යුතු’ යන්නයි. නමුත් එතුමන් ට අනුව වැරදි ප්‍රකාශයක් උන්වහන්සේ දේශනා කළා නම් කල යුතුව තිබුනේ පෙන්වා දීමය.නමුත් නිවට චර්යාවෙන් එතැන මුඛ අයාගෙන සිට පසුව තැන තැන කේලාම් හලමින් යෑම බෞද්ධ ධර්මයටද අගෞරවයකි.පිටිදුවේ සිරිධම්ම හිමියන් ධර්ම දේශනා සඳහා මිලක් නියම කල බවට සාක්ෂි ඇත්නම් පෙන්වා දෙන ලෙස දක්වමි.වෙනත් පිටස්තර බාහිර පුද්ගලයින් පිටිදුවේ සිරිධම්ම හිමියන්ගේ නාමය භාවිතා කොට ධර්ම දේශනා පවත්වන ප්‍රදේශ වල මුදල් එකතු කිරීමේ ජාවාරමක්ද පවතින බව දැක්වීමට කැමැත්තෙමි. අසංග තිලකරත්න මහතා හට කීමට ඇත්තේ තිස්ස මෙත්තෙයිය ,කච්චායන ගොත්ත සුත්‍ර වල සඳහන් පරිදි අන්ත වලට නොගොස් මධ්‍යස්ත ලෙස යමක් දෙස සොයා බලන ලෙසයි. ශාසනය තුල තනි අලියන් ඇති වී ඇත්තේ තනි අලියාට සෙස්සන් බිය වී පැන ගොස් තැන තැන හූමිටි තබන නිසාය.තනි අලියා පරාජය නොකොට පොලු මුගුරු වලින් පහර දුන් විට සිදු වන්නේ තනි අලියාගේ ශක්තිය තවත් විරාජ මාන වී බැබලීම නොවේද!

 අප දන්නා ඉතිහාසයට අනුව අතීතයේ පටන් සත්‍ය හෙළි කල මුනිවරුන් හට හිංසා පිඩා බොරු චෝදනා එල්ල කලද ඒ මුනි වරුන් ඒ සියල්ල දෙස නිශ්චලව සිටීමෙන් තව තවත් සමාජය තුල ශ්‍රේෂ්ටත්වයට පත් විය.අනගාරික ධර්මපාල තුමන් හට ඒ අවදියේ පුවත් පත් වලින් නොකී දෙයක් නැත.දොන් කරෝලිස් හේවාවිතාරණ ලී බඩු වෙළඳසලේ ප්‍රචාරණ කටයුතු සඳහා එතුමා විදේශ සංචාර කරමින් සිටි බවත් එතුමා සමලිංගික පුද්ගලයෙකු බවත් කියමින් එතුමාට දරුණු ලෙස පහර දුන්නද අද එතුමා රටේ ජාතියේ පියාණන් ලෙස වැඩ සිටියි. පිටිදූවේ හිමියන් හටද එවැනිම පදනම් විරහිත චෝදනා රැසක්ම එල්ල කරති. වරෙක උන් වහන්සේ නෑමට සූදානම් වූ අවස්ථාවක ගන්නා ලද ඡායාරූප විවිධ මාධ්‍ය ඔස්සේ පල කරමින් උන් වහන්සේටද අපහාස කලහ. කෙනෙකු නාන පින්තූර ඡායරූප කර මාධ්‍ය ඔස්සේ මඩ ගැසීමට තරම් ඇතැමුන් සාහසික වීම මහත් ඛේදජනක සිදුවීමකි.(අඳන කඩය හෙවත් තනි සිවුරෙන් සිටීම බුද්ධ නීතියටද එකඟය.සිවුරු හැඳගෙන ස්නානය බුද්ධ නීතියෙන් තහනම්ය.ස්නානය සඳහා තනි සිවුරෙන් සිටීම ප්‍රමාණවත්ය.) මෙවැනි දේ සිදුවෙද්දීත් අකම්පිතව සියල්ල දරා වැඩ සිටින උන්වහන්සේලා තුලින් පෙන්නුම් කරන්නේ උන්වහන්සේලගේම ශ්‍රේෂ්ටත්වය නොවේද! අසංග තිලකරත්න මහතාණෙනි ඔබ තුමාට සමාජය එක දෙයක් භාර කර ඇත.ඔබ තුමා පවසන පරිදි පිටිදුවේ සිරිධම්ම හිමියන් බුද්ධ වචනය විකෘති කර ඇත්නම් ඒ පිළිබඳව ප්‍රසිද්ධ සංවාදයකට එළඹ සිටීමයි.එතුමන් හට ඒ සඳහා ශක්තිය ඇතැයි මම විශ්වාස කරමි.අපහාස උපහාස තුලින් සත්‍ය දැකිය නොහැකිය. සිරිධම්ම හිමියන් දේශනා කරන ධර්මය පිලිබඳ මා හට කිසිඳු ගැටළුවක් නොපවතී.එය බුදුන් වහන්සේ වදාල සැබෑම දහම යයි මා ප්‍රායෝගිකව පුහුණු කරමින් අත් දකින බැවිනි. අසංග මහතා , උන් වහන්සේ පවසන දහමෙහි විකෘති ඇති යයි කියන තැන් සෘජුවම ඉදිරිපත් කර නොමැති හෙයින් ධර්මය පිලිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීම මෙහි ලා සිදු නොකලෙමි. මක් නිසාද යත් එතුමන් විමසා ඇත්තේ ප්‍රඥාව පිලිබඳව නොව ඕපා දූප ගොඩක් පිලිබඳවය. එහෙයින් ඊට අවශ්‍ය කරුණු කරනා පමනක් ඉදිරිපත් කලෙමි.

 අසංග මහතාව මා මින් පෙර කිසි දිනක හමු වී හෝ සාකච්චා කර නැත. එහෙයින් එතුමන් ගේ ධර්ම ඥාණය පිලිබඳව එක් වරම නිගමනයන්ට මම පත් නොවෙමි. එතුමන් කෙරේ කිසිඳු අමනාපයක් හෝ ද්වේශයක් ද මා තුල නොපවතී. එහෙත් මා දන්නා ධර්මයට අනුව සසඳන කල මෙම ලිපියෙහි විග්‍රහ කරන දාර්ශනික කරුණු තුල කිසියම් පරස්පර නොගැලපෙන ස්වභාවයක් පෙන්නුම් කෙරෙන බැවින් ඉතාමත් සත් බාවයෙන් යුතුව කරුණු ඉදිරිපත් කලෙමි. පිටිදූවේ හිමියන් හා උන් වහන්සේගේ දේශනාවන් පිලිබඳව අසංග මහතා ඉදිරිපත් කරන කරුණු විස්තර සහිතව ඕනෑම විද්‍යුත් මාධ්‍යයක් තුල ප්‍රසිද්ධියේ විවාද කොට වාදයෙන් උන්වහන්සේව පැරදවීමට එතුමන් සූදානම් නම් පිටිදූවේ හිමියන් හමුවී එ සඳහා අවස්ථාවක් ලබා ගැනීමට මා පෞද්ගලිකවම මැදිහත් වෙමි.මක් නිසාද යත් තරුණයෙක් හැටියට මා හට අවශ්‍ය වනුයේ කිසියම් වූ පුද්ගල පෞර්ෂයක් රැකීමට නොව බුදුන් වහන්සේගේ සැබෑම දේශනාව අවබෝධ කොට දුක නිවා ගැනීම පමනි. එහෙයින් වැරදි මත ඇත්නම් එම දුර්මත පරදවා සබෑම ධර්මය ඉස්මතු කිරීම ආචාර්යවරයෙකු ලෙස අසංග මහතාගේ වගකීමක් ලෙස මම සලකමි. එවිට එතුමන් සැබෑවටම ‘බෞද්ධ’ මහාචාර්ය වරයෙකු ලෙස අපි සියලු දෙනාම එක හෙලා හඳුන්වන්නෙමු.
ධනුෂ්ක රත්නායක .
 (උපාධි අපේක්ෂක)
ඉංජිනේරු පීඨය ,
 මොරටුව විශ්ව විද්‍යාලය.